(ජයග්‍රාහක) පී. කරුණාරත්න බණ්ඩාර – කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, තඹුත්තේගම කොට්ඨාසය 

සැමවිටම සුපිලිපන්නව තම රාජකාරියේ යෙදීමට උත්සාහ දරන කරුණාරත්න බණ්ඩාර මහතා ඒ හේතුවෙන්ම තම පළාතේ බලවත්ම දේශපාලන අධිකාරියත් සමග ගැටී ස්ථාන මාරුවකට ලක්වුවෙක්. එහෙත් ඔහු තමාගේ ප්‍රතිපත්ති රකිමින් සිදුවූ අගතිය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් ඔහු ගත් තීරණයේ නිවැරදි බව ඔප්පු කළේය. විදුහල්පතිවරයෙක් ලෙසද ඔහු සේවා කළ කාලය සලකා බලන විට ජනතා සේවයට කරුණාරත්න බණ්ඩාර මහතා දක්වන ඇල්ම කැපී පෙනෙන්නේය.

උපුල් ඉන්ද්‍රජිත් – සහකාර අධ්‍යක්ෂ (බස්නාහිර පළාත), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

රටේ වනජීවී සම්පත සුරැකීමට කැපවී සිටින උපුල් ඉන්ද්‍රජිත් මහතා තමාගේ සේවා කාලය තුළ විශේෂ ජයග්‍රහණ කිහිපයක් හිමි කරගෙන තිබෙන පුද්ගලයෙක්. මිරිස්ස වෙරළ අසල සාගරයේ සැරිසරන තල මසුන් හා ඩොල්ෆින් මසුන් සංරක්ෂණය සඳහා එම ප්‍රදේශයේ කාර්යාලයක් පිහිටුවීමේ සිට රටේ පවතින අලි ජාවාරමට එරෙහිව සටන් කිරීම දක්වා ඔහු අගනා සේවයක් ඉෂ්ට කර ඇත. ඔහුගේ සුපිලිපන්බව හේතුවෙන්ම උපුල් ඉන්ද්‍රජිත් මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්පතක් වී ඇත. 

ඉනෝකා කුලතුංග – පරිපාලන නිළධාරි, මහනුවර මහනගර සභාව  

තමාට සහ තමා සේවය කළ කාර්යාලයන්ට සම්මාන කිහිපයක් හිමිකරගෙන තිබෙන ඉනෝකා කුලතුංග මිය ශ්‍රේෂ්ඨ පරිපාලකයෙක් වන්නේය. තමන්ට හිමි උසස්වීම් නැතිවී යාමේ අවධානයද නොතකා ඇය විගණන නිලධාරිනියක් ලෙස මහනුවර මහනගර සභාවේත්, මධ්‍යම පළාතෙත් රාජ්‍ය සේවය වගවීම ශක්තිමත් කිරීමටත්, දූෂණය හෙළි කිරීමටත් කැපවී ඇත. ඇය තවදුරටත් ප්‍රතිපත්ති රකිමින් තම රාජකාරියේ යෙදෙන්නේය.

වෛද්‍ය වසන්ත දිසානායක – අධ්‍යක්ෂ (පෞද්ගලික සෞඛ්‍ය සේවා සංවර්ධන අංශය), සෞඛ්‍ය අමාත්‍යංශය 

තම රාජකාරියට කැපවී සිටින වෘත්තියවේදියෙක් වන වෛද්‍ය වසන්ත දිසානායක මහතා, තම වෘත්තීය ජීවිතය පුරා රටේ සෞඛ්‍ය සේවය ගුණාත්මක කිරීම සඳහා සෑම අවස්තාවකම පෙනී සිටින පුද්ගලයෙක්. මහරගම පිළිකා රෝහලේ සේවය කල සමයේ රෝගීන්ට වැරදි ආකාරයට ඖෂධ ලබාදීම හා ප්‍රතිකාර කිරීමට එරෙහිව නැගී සිටිමින් ඔහු ප්‍රතිපත්ති ගරුකව රාජකාරීය ඉෂ්ට කළේය. වසර 27 ක් පුරා ගතවූ සේවා කාලය තුල කිසිදු වැඩ වර්ජනයකට සහභාගිවීම ඔහු ප්‍රතික්ෂේප කර ඇත්තේ, තමන් හට පැමිණෙන රෝගීන් තමාගේ පරම වගකීම වන බව තමා විශ්වාස කරන නිසාමය. 

කමනි අසෝකා ද සිල්වා – ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරි, මහනුවර ශික්ෂණ රෝහල 

සුපිලිපන්බව, අවංකත්වය, රාජකාරීමය වගකීම හා කැපකිරීම කමනි අසෝකා ද සිල්වා මිය ට සුවිශේෂී සංකල්ප නොවේ. ඇගේ වෘත්තීය ජීවිතය පුරාවටම ඇය ක්‍රියා කර ඇත්තේ මෙම ගුණාංග පිළිබිඹු කරමින් ය. අඩු ආදායම් ලාභීන්ට රුකුලක් වී ඇති පිළිකා සුව සහන අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ ඇය පොදු ජනතාව අතරද රෝගය පිළිබඳ ඇති අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල සේවයක් ඉෂ්ට කර ඇත.

back to top
LANGUAGE
தமிழ்
ENGLISH